Saturday, June 13, 2015

යට ඇඳුමෙන් ආ කෝටි පහේ රන් ජාවාරම

  ඩුබායි හා සිංගප්පුරුවේ සිට විවිධ ක්‍රම භාවිතා කරමින්   නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට  ගෙන එනු ලබන  රත්තරන් තොග කොළඹ හෙට්ටි වීදයේදී මාල, වළලූ කන කර ආභරණ බවට පත්කොට   හොර රහසේම ඉන්දියාවට පිට කරන ජාවාරමක් කාලයක  සිට මහා පරිමාණයෙන්  මෙරට  ක්‍රියාත්මක බව කව්රුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.

 ඉන්දියාවේ රත්තරන් ආනයනය කිරීම සිමා කිරීම හා ආනයනයේදී ඉන්දීය  රජයට විශාල බදු ගෙවීමට සිදු වීම මෙම ජාවාරම ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වී ඇත.  සම්ප්‍රදායික ලෙස අදටද ඉන්දියානු  කාන්තාවන් විවාහ වන විට දෑවද්ද වශයෙන් රන් පවුම් 100 යක් පමණ මනමාලයාගේ පාර්ශවයට ලබා දීම සිදු කරයි.  බොහෝ ඉන්දියානු කාන්තාවන්ගේ ආරක්ෂාව  සහ එකම වත්කම රත්රතන් ආභරණ එක් රැස් කර තබා ගැනීම බව ප්‍රකට කරුණකි.  මේ කාරණාව නිසාම ඉන්දියාවට රත්තරන් ලබා දීමේ ප්‍රධානම සැපයුම්කරුවෙක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ඒ  හොර රහසේ  සිදුවන අයතා මාර්ගවලිනි.  දැන්, දැන් එය අප රටේ කාන්තාවන්ගේ ඛේදචවාචකයක් බවට පත්වෙමින් පවතී.

බොහෝ අවස්ථාවල හොර ජාවරමුන් මෙරටට රන් ගෙන එනු ලබන්නේ ඩුබායි හා සිංගප්පරුවෙනි. ඒ එහි රන් මිළ අඩු බැවිනි. රන් කැබැලි තම ශරීරයේ රහස් ප්‍රදේශවල සගවාගෙන තම ජීවිත පරදුවට තබමින් රන්  ප්‍රවාහනය කළ  පිරිමින් මෙන්ම කාන්තාවන්ද, රන් ගුලි ගිල දැමුවන් මෙන්ම නිම නොකළ කළ රන් භාන්ඩ පැළද  රන් ප්‍රවාහනය කළ කාන්තාවන් මෙන්ම දරුවන්ද පසුගිය කාලය තුළ කටුනායකදී  කොටුවු අවස්ථා ඕනෑ තරම් විය. අවසානයේ මෙම බොහෝ කාන්තාවන් එසේ කර තිබුනේ අධික දරිද්‍රතාවය නිසා කුමන හෝ ක්‍රමයකින් මුදල් සෙවීමේ පරිමාර්ථයෙන් බව අනාවරණය විය. එසේත් නැත්නම් රන් ජාවාරමුන් සමග  ඇතිකරගන්නා සම්බන්ධතා මත පසුව ඔවුන්ගේ ඉත්තන් බවට පත්ව ඔවුන්ගේ තර්ජන, සහ ගර්ජන වලට බියෙන් බවද හෙළි විය.

එයට තවත්  සාක්ෂියක් එක් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා අළුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි  තරුණියකි.  උපැස් යුවලක්ද පැළද, ඩෙනිම් කලිසමක් ඇද සිටි ඇය වැදගත් පවුලක තරුණියක ලෙස හැසිරීමටද වග බලා ගත්තාය. නමුත් ඇයගේ පැමිණීම  බලාපොරොත්තුවෙන්  සිටි පිරිසක්ද එහි විය. විටෙක රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවක මෙන් හැසිරුනු අය ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවද හැසිරෙව්වාය. ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ ඇයගේ රැකියාව ලෙස ගනකාධීකාරීවරියක් වශයෙන් සදහන්ව තිබීම ගුවන් ගමන් වලදී  ඇයගේ  අරමුණු ඉටු කරගැනීමට  මහගු රුකුලක් විය.

 තමන්  එනතුරු ගුවන්තොටුපොළේ රැක්වල්ලා සිටි පිරිසක් සිටින බව නොදත් ඇය ගුවන්තොටුපොළේ සියළු මුර කපොළු පසුකරමින්   රේගු පරිශ්‍රය ඉක්මවා ගුවන්තොටුපොළෙන් පිටවීමට කඩිනම් ගමනින් ඉදිරියටම පැමිණියාය. ඉන්පසු ඇය භාණ්ඩ කිසිවක් රේගුවට ප්‍රකාශ කිරීමට නැති මගින් ගුවන්තොටුපොළෙන් පිටවෙන මාර්ගය (ග්‍රීන්  චැනල්) ඔස්සේ තවත් ඉදිරියට පැමිණියාය.  මේ අතර තවත්  රන් ජාවාරමක සුල මුල අනාවරණය කරගැනීමට මාස ගණනාවක් තිස්සේ විමර්ශනය කරමින් සිටි රේගු නිලධාරීන් කණ්ඩායමක්ද ඇය බලාපොරොත්තුවෙන් එහි රැක සිටියහ.
  ඔවුහු  ඇය පරීක්ෂා කිරීමට උත්සහ දරත්ම තමන් පරික්ෂා කිරීමට රේගුවට ඇති අයිතිය කුමක්ද යන්න අසමින්  රේගුවෙන් පෙරලා ප්‍රශ්ණ කිරීමට තරම් ඇය නිර්භීත විය. තමන්  zzසිමාzz සුදුසුකම් ඇති ගනකාධිකාරීවරියක් බවත් තම පෙම්වතා හමුවීම සදහා ඩුබායි ගිය බවත් ඇය චතුරව ඉංග්‍රීසි භාෂාව උච්චාරනය කරමින් ඔවුන් හමුවේ කියා සිටියේ කිසිවෙකුටත් ඇය ගැන සැකයක් ඇතිවීමට ඉඩක් නොතබමිණි.   රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවකගේ ස්වභාවයක් ආරූඩ කරගනිමින්  කතා කළ  ඇය තමන්  පරීක්ෂා කිරීමට විරුද්ධත්වයද ප්‍රකාශ කළාය. නමුත් රේගු නිලධාරීන්ගේ උකුසු ඇසට හසු වුයේ  ඇය අත වු ගුවන් ගමන් බලපතයි. එය මෑතකදී සාදන ලද්දක් විය. එය  ලග ලග දිනයන්හි 14 වතාවක්  ඇය විදේශගතවු බවට සාක්ෂි දැරීය. එහි අලවා තිබු ඡායාරූපයේ ඇය උපැස් යුවලක් පැළද නොසිටි අතර එහි හා ඇගේ වත්මන් ස්වරූපයෙහිද පැහැදිලි වෙනසක් ද තිබිණි.  ඇය කුමන තරාතිරමක උවද රේගු නිලධාරීන්ට ඇය පිළිබද ඇතිවු සැකය තව තවත් තීව්‍ර විය.
 
අවසානයේ රේගු ආඥා පනත සහ නීති පෙන්වා ඇය පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන්ට සිදු විය. පසුව ඇයගේ ශරීරය පරීක්ෂා කිරීමට රේගු කාන්තා නිලධාරීන්ට පැවරිණි. මුලින්ම ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශයේ තිබී රත්තරන් බිස්කට් 18 ක් පාර්සලයක් අසු  විය. එවර ඇය ලැජ්ජාවට මෙන් හඩමින් රේගු නිලධාරීනියන් ඉදිරියේ බැගෑපත්ව ඇත්තේ තවත් තමන් පරික්ෂා නොකරන ලෙසයිි.   කෙසේ වෙතත් ඇගේ යට ඇදුම් එකින් එක ගැලවෙද්දී ඒ අතර සගවා තිබු තවත් රන් බිස්කට් 82 ක් සොයා ගැණිනි. ඒවායෙහි මුළු බර කිලෝග්‍රෑම් 10 යක් වු අතර වටිනාකම රුපියල් කෝටි පහක් විය.

පසුව කරන ලද විමර්ශණවලදී හෙළි වුයේ ඇය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පෞද්ගලික ආයතනයක ගනකාධිකාරීවරියක් ලෙස කටයුතු කරන බවයි. ඇයගේ වයස අවුරුදු 31 විය. ඇය මීට දින හතරකට පමණ පෙර ඩුබායි වෙත ගොස් ඇති බවත් යළි ෆල්යි ඩුබායි ගුවන් සේවයට අයත්  එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් එදින අළුයම 01.10ට පමණ  තවත් කිහිප දෙනෙකු සමග දිවයිනට පැමිණ ඇති බවයි.
එමෙන්ම පසුගිය නොවැම්බර් සිට මේ වෙනතේ ඇය 34 වතාවක්  විදෙස් ගත ව ඇති බවද විමර්ශණවලදී  හෙළි විය. එමෙන්ම ඇය නිතර, නිතර  විවිධ ක්‍රම බාවිතාකරමින් ගුවන් ගමන් බලපත්‍ර අළුත් කර ඇති බවද දැනගන්නට ඇත.   විමර්ශණ නිලධාරීහු පවසන්නේ  ආරක්ෂක අංශ වල සැකයට භාජනය නොවීමට මෙලෙස  සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් පසුව ඇය ගුවන්තොටුපොළේදීම රේගු නිලධාරීන් හමුවේ තමන් කළ වැරැද්ද පිළි අරගෙන ඇති අතර තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් හදුුනාගත් පුද්ගලයෙකු ඩුබායි ගුවන්තොටුපොළේදී මෙම රත්තරන් තොගය ශ්‍රී ලංකාවට ගෙන යාම සදහා ලබා දුන් බව පවසා තිබේ.  මුදල් කොන්ත්‍රාත්තුවක්  මත එය සිදු කළ බවද  ඇය කියා ඇත.

කෙසේ වෙතත් රේගුව පවසන්නේ එය රේගු අත් අඩංගුවට පත් වන ඕනෑම පුද්ගලයෙකුගේ සුපුරුදු  පිළිතුරක්  බවයි. මෙම තරුණිය වැඩි ගමන් වාර  ප්‍රමාණයක් ඩුබායි  හා ශ්‍රී ලාංකාව අතර යාම් ඊම් කර ඇති බැවින්  ඇය රන් ප්‍රවාහනයේ පලපුරුදුකාරියක් බවට රේගුව සැක කරයි.

ඇය අත් අඩංගවට ගැනීමෙන් පසු  ගුවන්තොටුපොළ රේගුව විසින් මෙහි  රේගු පරීක්ෂණය ඇරඹීය.  එය  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ප්‍රියන්ත සේනානායක මහතා මෙහෙය වු අතර වැටලීමට සහයවු  රේගු අධිකාරීවරුන් වන දර්ශණ ශිල්වා, නිමල් තිලක,  නියෝජ්‍ය  රේගු අධිකාරීවරුන් නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, එම්.අයි උදය ගාමිණී, පී.එච්.යු.අයි විෙජ්පාල  සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමංජිත් සහ සහකාර රේගු අධිකාරීවරියන් වන නිලුක්ෂි පතිරණ, එරන්දිකා හබරාදුව  යන නිලධාරීහු  සහාය වුහ.
මේ අතර අත් අඩංගුවට ගත්  ගණකාධිකාරීවරිය  එම රත්තරන් තොගය සමග කොළඹ රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දෙන ලෙස ඉහළින් ආ  නියෝගයක් නිසා ගුවන්තොටුපොළ රේගුව මගින් කරගෙන ගිය රේගු පරික්ෂණය අතරමග නවතා දැමීමට සිදු විය.

සාමාන්‍යයෙන්   නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කර ගුවන්තොටුපොළේදී රේගුව මගින්  අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වැනි භාණ්ඩ ගෙන ආ තැනැත්තා තමන් එය ගෙන ආ බවට වරද පිළිගනීනම් ගුවන්තොටුපොළේදීම  එම භාණ්ඩ  රාජසන්තක කර දඩ මුදලක් නියම කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. එසේ  උවත්  මෙම රත්තරන් තොගය මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දීමට හදිසියේ ඉහළින්  නියෝගයක් ලැබීම නිසා යම් කනස්සලලක් මේ වන විට  රේගු නිලධාරීන් තුළ ඇති වී තිබිණි.

මේ පිළිබදව රේගුවේ උසස්  නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම අප කරුණු විමසු  විට  ඔවුන් පැවසුවේ  මෙහි විමර්ශණ කටයුතු කොළඹට ගෙන යාම පිළිබදව රේගු නිලධාරීන් කනස්සල්ලට පත් වී ඇති බව සත්‍යයක් බවයිි.  සැකකාරිය වරද පිළි අරගෙන ඇති බැවින් ගුවන්තොටුපොළේදීම රේගු පරික්ෂනය අවසන් කොට ඇයට දඩයක් නියම කොට රත්තරන් තොගය රාජසන්තක කිරීමට හැකියාව තිබියදී හදිසියේ මෙවැනි නියෝගයක් පැමිණීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වුයේ දැයි සැකයක් ඇති වීම මත රේගු නිලධාරීන් අතර මෙම කැළඹිල්ල ඇතිව තිබිණි.

සමහරු පැවසුවේ පසුගිය කාලයේ ගුවන්තොටුපොලේදී අසුවු රුපියල් කෝට්   ගණන්  වටිනා රත්තරන් තොග පිළිබදව එම අවස්ථාවේදීම රේගු පරීක්ෂන සිදුකර අදාල සැකකරුවන්ට දඩ නියමකොට ඒවා රජසන්තක කළ බවයි. එසේම සැබෑ අයිතිකරු සොයාගැනීමට නොහැකිව, සත්‍ය හෙළිවී නැති අවස්ථාවලදී පමණක්  එහි විමර්ශණ කටයුතු  මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දුන් බවයි. .
කෙසේ වෙතත් අප මේ පිළිබදව අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තිලක් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ 
''මේ සිද්ධියයේදී අත් අඩංගුවට ගත් රන් වල වටිනාකම  රුපියල් කෝටි පහක් තරම් විශාල මුදලක්. අපි මේක මධ්‍යම විමර්ශණ ඒකකයට ගේන්න තීරණය කළේ මෙහි සිටින මහ මොළ කරුවන් කව්ද යන්න හදුුනාගන්නයි. වෙනදට ගුවන්තොටුපොළේදී දඩ ගහලා, බඩු ටික රාජසන්තක කරන බව ඇත්ත. එතනදි වෙන්නේ සැකකරු හෝ සැකකාරිය දඩ මුදල ගෙවලා නිදහස් වෙලා යන එක. ඉන් රහාට විමර්ශණයක් වෙන්නේ නැහැ.  මේකේ සුළ මුල සොයන්නයි කොළඹට ගෙනාවේ''

 මධ්‍යම විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගෙන්ද ඉදිරි විමර්ශණ කටයුතු කෙසේ සිදු කරන්නේදැයි අපි විමසුවෙමු.

''මේක රුපියල් ලක්ෂ  100ට වැඩි වටිනාකමක් ඇති සිද්ධියක්. එවැනි අවස්ථාවලදී  එහි විමර්ශණ කටුයතු කිරීමට රේගු මධ්‍යම විමර්ශණ ඒකකය බාර ගන්නවා. ඒ වගේ  සිද්ධීන්ට අදාලා ලිපිගොනු මෙතන ගොඩක් ඇවිත් තියෙනවා.   මීට මාස හයකට පමණ පෙර ඉදලා තමයි රුපියල් ලක්ෂ 100 ට වැඩි සිද්ධීන් මෙතනට ගේන්න කියල තීරණයක් ආවේ.  මෙම සිද්ධිය පැය විසි හතරක් තුළ අනාවරණය කරගන්න බැහැ.   ඒ නිසා  සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර රදවා ගැනීමේ නියෝග ලබා ගත්තා. මින් ඉදිරියට මෙහි  විමර්ශණ කටයුතු මධ්‍යම විමර්ශණ ඒකකය මගින් මෙහෙයවා ඉන් අනතුරුව රේගු පරිකෂණය සිදු කරනවා. මේ මෑතකදී රේගු නිලධාරියෙක් කකුලේ බැදගෙන රත්තරන් වගයක් අරගෙන ගිහින් අසු උනා. ඒ සිද්ධියත් මෙතනයි විමර්ශණය කරන්නේ.

මෙතනට මේ සිද්ධිය ගෙනාවට රේගුවෙම පිරිසක් තමයි ඔය විරුද්ධයි කියනවා ඇත්තේ. නමුත් අපි මේ වැඩේට මුදල් යොදවන්නේ කව්ද කියන එකේ සිටි සියල්ලම හොයනවා''

කෙසේ වෙතත්  රේගු මාධය ප්‍රකාශක, රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා පැවසුවේ  එකී  තරුණිය  අත් අඩංගුවට ගත් දින සවස එම රත්තරන් තොගයද සමග කොළම මධ්‍යම විමර්ශන ඒකකය වෙත රැගෙනවිත්  මේ වන විට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජුනි 22 වෙන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවයි.

ඇය ජුනි 12 වෙනිදින සහ ජුනි 18 වෙනි දින නැවත විමර්ශණ කටයුතු සදහා මධ්‍යම විමර්ශණ ඒකකයට කැදවීමට නියමිත බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් මෙකී තරුණිය සමග තවත් ව්‍යාපාරික පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිද බව කියන කාන්තාවකද මෙරටට පැමිණ ඇති බව අනාවරණය වෙයි. ඇය රේගුවට පවසා ඇති පරිදි මෙම රන් තොගය ඩුබායි ගුවන්තොටුපොලේදී ඇයට ලබා දුන්නේ නම් ඇය කිලෝ දහයක් පමණ විශාල ප්‍රමාණයක්  පැය ගණනාවක් තිස්සේ දරා සිටියේ කෙසේද යන්න පිළිබදව ගැටළුක්පැන නගී.  මේ පිළිබදව විමර්ශණය කළ පිරිස් පවසන්නේ මෙය ඩුබායි සිට ගමන් මල්ලක හෝ වෙනත් ආකාරයකින් රැගෙන විත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ යම් තැනකදී මේ අයුරින් රහස් පෙදෙසේ සගවාගෙන ඇති බවයි.

එසේම ඇය සැබෑවටම ගනකාධිකාරීවරියක් ද යන්නත්, ඇය මෙ තනතුර තම ගමන්බලපත්‍රයේ දමාගෙන ඇත්තේ මෙලෙස විවිධ ජාවාරම් වලට සහය දීමට ඇති පහසුව නිසාද යන්න සොයා බැලිය යුතු තවත් කරුණකි. ඇයගේ ගුවන් ගමන් බලපතෙහි පරිදි ඇය පසුගිය නොවැම්බර් සිට මේ වනතෙක් 34 වතාවක් විදෙස් ගතව ඇත්නම් ඇය ගනකාධිකාරීවරියක් ලෙස සේවය කරන ආයතනය පිළිබදවද ප්‍රශ්ණයක් මතුවෙයි. ඒ ඇය සේවය කරන කාලයට වඩා වැඩි වාර ප`මාණයක් විදෙස් ගත වී තිබීමයි. එසේම ඇය කහිපවිටක්ම  ගුවන් ගමන් බලපත් සකස් කර ඇත්නම් ඒ සදහා ඇය භාවිතා කළ ක්‍රම මෙන්ම සහය වු පුද්ගලයින් ගැනද සොයා ගත යුතුව ඇත.

මීට අමතරව මේසා විශාල රන් ප්‍රමාණයක් රැගෙන ආ ඇය තනිවම ඩුබායි ගියා හෝ පැමිණියා විය නොහැක. ඇය සමග එම ගුවන්යානාවලින් ආ ගිය පුද්ගලයින් ගැනද සොයා බැලිය යුතුය. අවසාන වශයෙන් කිවයුත්තේ ගුවන්තොටුපොලෙහිද ඇය රැගෙන යාම සදහා කිසිවෙක් පැමිණ සිටියාද යන්න පිළිබදවද සොයා බැලීමෙන් මෙහි සුල මුල හෙළි කරගැනීමට මධ්‍යම විමර්ශණ ඒකකයට හැකියාව ඇති බවයි.

එය ඉක්මනින් ඉටු නොවුනහොත්  කලකිරීමට පත් රේගු නිලධාරීන් කියන පරිදි මෙම සිද්ධිය වසන් කිරීම සදහා මධ්‍ය විමර්ශණ ඒකකයට රැගෙන ආවේ හදිසි හස්තයක් ක්‍රියාත්මකව මෙහි මහ මොලකරුව්න වසන් කිරීමට යන්න සත්‍යයක්ම වුන ඇත.  

කෙසේ වෙතත් මෙම ගණකාධිකාරිවරිය මුදල් තණ්හාව මෙත මෙම වංචාව සිදු කළාද, එහෙමත් නැතිනම්  රන් ජාවාරම මෙහෙයවන්නෙකුගේ ග්‍රහණයට නතුව ඇති වු තර්ජන, ගර්ජන ඉදිිරියේ මෙැවනි ක්‍රියාවක නිරත වුයේ දැයි අප  නොදනිමු.

එමෙන්ම ශ්‍රී ලංකව තුළ රන් මිල කොතෙක් ඉහළ ගියද මෙරට ස්වර්ණාභරණ කර්මාන්තයේ  ප්‍රධානම වැඩ බිම වන කොළඹ හෙට්ටිවීදියට දිනපතා  ලැඛෙන ඇණවුම් වල අඩුවක් නැත. ඒ  කොළඹ හෙට්ටිවීදිය කේන්ද්‍රකොට ගෙන  මහා පරිමාණයෙන් සිදුවන රන් ජාවාරම හේතුවෙනි.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන රන් බිස්කට්  විවිධ හැඩයේ මාල,වළලූ,මුදු අයුරින් සකස් කිරීමේ ඇනවුම බාරගැනීමට කොළඹ හෙට්ටිවීදියේ රන් ජාවාරම් කරුවන්    සිටින්නේද දැඩි  නොඉවසිල්ලෙනි. බිස්කට් ලෙසින් හෝ කැබලි වශයෙන් මෙරටට ගෙන එන රත්‍රන්  කොළඹ හෙට්ටි වීදියේ දී රහසිගත ලෙස  විවිධ හැඩයෙන් මාල, වළලූ කන කර ලෙස නිර්මාණය වෙයි.  මෙම අභරණ ඔප දැමීම මෙහිදී සිදු නොකරන අතර ඒවා  ගැහැනුන්ට, දරුවන්ට පළඳවා හෝ වෙනත් තැරැව්කරුවන් මාර්ගයෙන්   ඉන්දියාවට යවා විශාල ලාභයක්  ඉපයීමට  මෙරට රත්තරන් ජාවාරම් කරන මාෆියා කල්ලි බිහිවී සිටිති.
එබැවින් මධ්‍යම විමර්ශන ඒකකය මෙහි තෝරුන් මෝරුන් අල්ලන් තෙක්  අප  අවධියෙන් සිටන බව මෙහි සටහන් තබන්නෙමු.






0 comments :

Post a Comment