Saturday, June 13, 2015

බලධරයින් අවතක්සේරු කළ ආසියානු පාසැල් චෙස් තරඟාවලිය







අනෙක් රටවල දරුවෝ සිය පුහුණුකරුවන්ගේ උපදෙස් මත තරග කරද්දී අපේ පුංචි එවුන්  තනිවම ඒ සියළු අභියෝගයන්ට මුහුණු දුන්හ. ඔවුහු දැඩි අධිෂඨානයෙන් තනිවම තරග කලහ.  එවැනි වාතාවරණයක් යටතේ අපේ පුංචි එවනු දිනාගත් මේ පදක්කම් අපට නම් මහ මෙරක් තරමටම වටින්නේය.



ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදුන් මෙම දරුවෝ පසුගිය සදුදා අළුයම දෙකට  කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.  එහෙත් ඔවුන් පිළිගැනීමට හෝ ඇගයීමට පැමිණි කිසිම අධ්‍යාපන ලොක්කෙකු  අප නම් දුටුවේ නැත. පාසැල් මට්ටමින් හෝ ඇගයීමක් කිරීමට පැමිණි කිසිවෙක්ද එහි සිටියේ නැත. එහෙත් පාසැල් චෙස් සංගමයේ ලේකම් නිර්මලා ඊරියගම මහත්මිය සහ එහි භාන්ඩාගාරික චාන්දනී නානායක්කාර මහත්මිය මල් කළඹ දෙකක් රැගෙන එහි සිටි අතර ඔවුන් දෙදෙනා හැරුණු කොට එහි පැමිණ සිටියේ මෙම දරුවන්ගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරයින් පමණි. ඒ අප දුටු එක් කනගාටුදායක තත්වයකි.

අනෙක් කතාව පිළිබදව නම්  බලධාරීන් අවධානයක් යොමු කළ යුතුමය. ඒ මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දරුවන් 40 දෙනෙකු වැනි විශාල ළමුන් පිරිසක් යවා තිබීමය. පාසැල් චෙස් සංගමය මගින් පවත්වනු ලබන තේරීම් තරගාවලියෙන් වැඩිම දක්ෂතාවයන් පෙන්නුම් කරන පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගන්නා තිදෙනා යැවීම වෙනදා කෙරෙන සාමාන්‍ය පටිපාටියයි.  එවිට කුඩා දක්ෂ කණ්ඩායමක් තරගාවලිය සදහා සහභාගී වෙයි. මෙවර දෙමව්පියන්ගේ ඉල්ලීම මත යැයි කියමින් තේරීම් තරගවලදී 4,5,6 ස්ථාන ලැබුවන්ටද ආසියානු තරගාවලියට යාමට රජය අවසර දී තිබීම නිසා තරගාවලියට සහභාගී වු ළමුන් ප්‍රමාණය 40 ක් තරම් විශාල පිරිසක් විය.


මෙහිදී අපට හමු වු බොහෝ දෙමව්පියන් පැවසුවේ ළමුන් විශාල පිරිසක් සහභාගී වීම නිසා පදක්කම් දිනාගැනීමේ බලාපොරොත්තු තිබු දරුවන්ට පෞද්ගලික මට්ටමින් හෝ පුහුණු කරුවෙකු ගෙන යාමට තිබු අවස්ථාව ගිලිහී ගිය බවයි. විශාල පිරිසක් සහභාගීවීම නිසා පදක්කම් බලාපොරොත්තු වු දක්ෂයින්ගේ  මනස සමබරතාවයකින් යුතුව කටයුතු කිරීමට නොහැකි  වාතාවරණයක් පැවති බවත් ඔවුහු කීහ. අප මේ පිළිබදව දෙමව්පියන්ට  හෝ දරුවන්ට දොස් නොකියමු. මන්ද යත්   කාගේත් බලාපොරොත්තුව වනුයේ තම දරුවා ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී කරවීමයි. එහෙත් මෙතරම් විශාල පිරිසක් යන තරගවලියකට එක් උපදේශකවරයෙකු හෝ යැවීමට බලධාරීන් අපොහොසත් වුයේ ඇයි දැයි යන්න කනගාටුවට කරුණකි.
කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා පාසැල් චෙස්  ක්‍රීඩා සංගමය  නිල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු  සදහා ගුවන්  ටිකට්පත් ලබා දීී තිබීම පැසසිය යුතු කාරණයකි. එය ශ්‍රී ලංකා චෙස් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කර ඇතිවාක් මෙන්ම  මෙරට අනෙකුත් ක්‍රීඩා සංගම්වලටද අදර්ශයක් සපයා ඇත.
අදාල තරගාවලිය රටවල් 15 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 ට අධික පිරිසකගේ  සහභාගීත්වයෙන්  පසුගිය මැයි 30  වෙනිදා සිට ජුනි 07 වෙනිදා තෙක් සිංගප්පුරුවේදී පැවැත්විනි.

කෙසේ වෙතත් මෙහිදී   කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න  වයස 13 න් පහළ ඉසව්ව නියෝජනය කරමින් රිදී පදක්කමක් හිමි කරගත් අතර මිලාගිරිය ශාන්ත පාවුලූ බාලිකා විද්‍යාලයේ  ඒෂා පලීල්   සිසුවිය වයස 9 න් පහළ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත් විය.


මීට අමතරව මෙහිදී  වයස 7 න් පහළ අදි වේගී චෙස් තරගාවලියෙන්  නාවල ජනාධිපති ප්‍රාථමික විදුහලේ තෙව්නි ප්‍රනාන්දු රිදී පදක්කමක් හිමිකරගත් අතර නෙළුනිකා මෙත්මානි, දහම්දි සන්දුල, දසුනි හංසිකා, ඉෂානි වික්‍රමසිංහ, සසිත් නිපුන්, මියුනි රාජපක්ෂ, කන්කානි ගමගේ, දිනෙත් නාඔටුන්න, කිනොන් තේනුක, දෙව්නෙත්මි දහම්ප්‍රිය, කොඩිකාර සචින්තන යන සිසු සිසුවියෝ අවසන් දක්ෂයින් 10 දෙනා අතරට එක්වෙමින්  කුෂලතා සම්මාන හිමිකරගත්හ.

තරගාවලියේ  13 න් පහළ වයස් ඛන්ඩයේ   රිදී පදක්කම හිමිකරගත්  කුරුණෑගල මලියදේවයේ හර්ෂණගේ දස්කම්  ගැන මෙහිදී යමක් ලිවිය යුතුමය.
හර්ෂණ  මෙම තරගාවලියේදී  13 න් පහළ ඉසව්ව නියේජනය කලද ඔහුලේ  වයස අවුරුදු 12 කි. ඔහු 13 න් පහළ නියෝජනය කරන නියම වසර 2016 යි.  ඔහු හා තරග කළ සෙසු ක්‍රීඩකයෝ ඔහුට වඩා වයසින් වැඩි විය. නමුත් ඒ වැඩිමහල් ක්‍රීඩකයින්  අභිබවා ප්‍රථම ස්ථානය හිමිකරගත් පිලිපීන ක්‍රීඩකයා සමග සම ල=කුණු ලබා ගනිමින් ලද මේ ජයග්‍රහණය සුවිශේෂී වන්නේ එබැවිණි.

ඔහු පසුගිය 2014 වසරේදී  බ්‍රසීලයේ පැවැති දසවන ලෝක පාසැල් චෙස් තරගාවලියෙදී ලොව ප්‍රබල රටවල් 27 ක් අභිබවමින්   වයස් අවුරුදු එකොලහෙන්  පහළ රන් පදක්කම දිනාගැනීමට සමත් වු දක්ෂ දරුවෙකි. විය.  එය  පාසැල් චෙස් තරගාවලියකදී  ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රථම රන් පදක්කම බවට ඉතිහාසයටද එක් විය.
පෙර පාසැල් අවධියේ සිටම චෙස් ක්‍රීඩාවට උපන් හපන්කම් පෑ හර්ෂණ මේ වන විට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි. 2009 වසරේ සිට චීනය, තුර්කිය, ග්‍රීසිය, බ්‍රසීලය, ඉන්දියාව,පෝලන්තය, රුමේනියාව, ස්ලෝවේනියාව, ඇතුලූ රටවල් 10 ක පැවති ලෝක තරගාවලි 17කට සහභාගී වී ඇති හර්ෂණ රන් රිදී   ලෝකඩ පදකක්ම් මෙන්ම මුල්පෙල දසදෙනා අතරට පැමිණ දස්කම් පෙන්වමින් ලංකාවට මහත් ගෞරවයක් හා කීර්තියක් අත්කර දීමට සමත් වු දරුවෙකි.

 ඔහුගේ ජයග්‍රහණ අතර 2009 පස්වන ආසියනු පාසැල් චෙස් තරගාවලියේ වයස අවුරුදු 7 න් පහළ ඒකල ඉසව්වෙන් ලෝකඩ පදක්කමද, කණ්ඩායම් රන් පදක්කම්ද, 2010 වසරේ තුර්කියේ පැවති 6 වන ලෝක පාසැල් චෙස් තරගාවලියේ සම දෙවන ස්ථානයද, 2011 වසරේදී බ්‍රසීලයේ පැවැති ලෝක යොවුන්  චෙස් තරගාවලියේ සම ප්‍රථම ස්ථානයද,  2014 වසරේ බ්‍රසීලයේ පැවති ලෝක පාසැල් චෙස් තරගාවලියේ රන් පදක්කම ලබා ගැනීම සුවිශේෂී වෙයි.  එමෙන්ම  නොකඩවාම ජාත්‍යන්තර චෙස් තරග රැසකටම ශ්‍රී ලංකාවේ නිළ ක්‍රීඩකයා ලෙස සහභාගී වීමටද හර්ෂණට හැකි විය.  මීට අමතරව  2009 සිට  2014 තෙක් අඛන්ඩව සමස්ථ ලංකා පාසැල් සහ සමස්ත ලංකා යොවුන් චෙස් තරගාවලියන්හිදී දක්ෂතම ක්‍රීඩකයා වීමේ ගෞරවයද ඔහු හිමිකරගෙන ඇත.

චෙස් ක්‍රීඩාවේ ඉහළම තත්වය වන මෙතෙක් අප රට නොලැබු zzග්‍රෑන්ඩ් මාස්ටර්zz කෙනෙකු වීම  පුංචි හර්ෂණගේ අනාගත පැතුමයි. අපි ඔහුගේ  වදන් වලින්ම එය ලියමු.
     ''චෙස්  ක්‍රීඩාවේ ඉහළම තත්වය වන ''ග්‍රැන්ඩ් මාස්ටර්'' කෙනෙක් වීමයි මගේ අනාගත බලාපොරොත්තුව.  ශ්‍රී ලංකාවේ මෙතෙක් ග්‍රැන්ඩ් මාස්ටර්  කෙනෙක් බිහි වෙලා නැහැ. මම ලංකාවේ පළවෙනි ග්‍රැන්ඩ් මාස්ටර් වෙනවා''  ඒ ඔහුගේ  ඒකායන පැතුමයි.

  ලොව  බොහෝ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගී වන්නේ පුහුණුකරුවන්ද සමගයි. හර්ෂන වැනි දරුවන්ට එවැනි අවස්ථාවක් නොලැඛෙන්නේ ඒ සදහා වන අධික වයදම තනිව දැරීමට සිදුවන නිසාය. මෙවර තරගාවලියේදී පදක්කම් හිමිකරගත් දරුවන් තිදෙනාම අවුරුදු 13 ට අඩු දරුවෝය. එබැවින් ඔවුන් සමග දෙම්ව්පියන්ගෙන් එක් අයෙකු හෝ මෙම ගමන් සදහා සහභාගී වීම අනිවාර්යය.
එමෙන්ම චෙස් ක්‍රීඩාව සදහා අප රටේ අනුග්‍රාහකයින්ද නැත. හර්ෂණ වැනි දස්කම් දක්වක දරුවන් වසරකට ජාත්‍යන්තර තරගාවලි අඩුම තරමේ තුනකටවත් සහභාගී වෙති. තවමත් මෙම දරුවන් පසුවන්නේ ලාබාල අවදියේය. ඔවුන්ට මෙම ක්‍රීඩාවේ දීර්ඝ ගමනක් යාමට කාලය ඉතිරිව ඇත. අවශ්‍යව ඇත්තේ අනාගත ලොව ජයගත හැකි මෙවැනි දරුවන් දිරිමත් කිරීමය. එය ශ්‍රී ලාංකික සමාජයේ මෙන්ම රජයේද වගකීමකි’
 



 




0 comments :

Post a Comment